සුන්දර අලව්ව

මනස්කාන්ත භූ දර්ශන මධ්‍යයේ පිහිටා ඇති අලව්ව ප්‍රදේශය ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සිත් ඇදගන්නාසුළු ප්‍රදේශයකි. නිස්කලංක මා ඔයට මායිම්ව පිහිටි අලව්ව ප්‍රදේශය ස්වභාවික චමත්කාරය, සංස්කෘතික පොහොසත්කම සහ නවීන සම්බන්ධතාවන්ගෙන් පරිපූර්ණ සම්මිශ්‍රණයකි. සබරගමුව සහ වයඹ පළාත් යා කරන අත්‍යවශ්‍ය සන්ධිස්ථානයක් ලෙස අලව්ව ප්‍රදේශය ක්‍රියා කරයි.
අලව්ව නගරය, පැරණි පාලම සහ වද්දෙණිය සංගිලි පාලම වැනි ආශ්වාදජනක සන්ධිස්ථානවල සිට හබ්බිලිකන්ද ආරණ්‍ය සේනාසනයේ ආධ්‍යාත්මික සන්සුන්කම දක්වා සෑම සංචාරකයෙකුටම වටිනාමක් පිරිනමයි. මෙම ප්‍රදේශයේ පෞරාණික ජලාශ, පෞරාණික විහාරස්ථාන සහ තවත් බොහෝ ස්ථාන සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව ඇත.

පැරණි අලව්ව පාලම

පැරණි අලව්ව පාලම සබරගමුව සහ වයඹ පළාත් යා කරන ප්‍රධාන දොරටුවක් වන අතර මා ඔයට ඉහළින් පිහිටි පාලම මනස්කාන්ත දසුන් සපයයි.
යකඩ රාමු සහිත පාලමේ ව්‍යුහය මා ඔය පතුලේ ඉදිකරන ලද ගල් කුට්ටි සහ හුණු බදාම වලින් සාදන ලද ශක්තිමත් කුළුණු දෙකක් මත තබා ඇති අතර එම කුළුණු මා ඔය පතුලේ සිට අඩි 33 ක් පමණ ඉහළට නැගී ඇත.
දිගින් අඩි 324 ක් පමණ වන මෙම පාලමේ පළල අඩි 18 ක් පමණ වේ. අඩි 10 ක පමණ පැති වානේ කණු වලින් යුත් මෙම පාලම 1929 වසරේ ආරම්භ කර 1936 වසරේ විවෘත කර ඇත. මේ වන විට වසර 88 ක් පමණ වයසැති මෙම පාලම දැනට පයින් ගමන් කරන්නන් සඳහා පමණක් විවෘතව පවතී.
එමෙන්ම මංගල ඡායාරූපගත කිරීම් හා අවට සුන්දරත්වය විඳින්නන් අතර ජනප්‍රිය ස්ථානයක්ව පවතින මෙම පාලම මේ වන විට කෙමෙන් කෙමෙන් වියැකී යන තත්වයට පත්වෙමින් තිබෙන අයුරු දක්නට හැකිය.
Google සිතියම මෙතැනින් බලන්න

කපුවරල මා ඔය අසබඩ සංචාරක සංවර්ධන කලාපය

මා ඔය අසබඩ නිස්කලංක කලාපයක පිහිටා ඇති මෙම බිම් තීරය පළාත් පාලන බල ප්‍රදේශවල සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ රු. 5,000,000.00 ක ප්‍රතිපාදන ඔස්සේ දැනට මූලික සංවර්ධන කටයුතු කරනු ලබන අතර මෙම වර්ෂය තුල දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමට නියමිතය.
කොළඹ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට මායිම් පවතින මෙම බිම් කොටස මා ඔයට සමාන්තරව පිහිටා තිබීම, මනස්කාන්ත පාරිසරික සාධක පැවතීම, නිස්කලංක බව වැනි කරුණු හේතුවෙන් ස්වභාවධර්මයට ලැදි පිරිස්වලට සහ ගමනාගමනයේදී විවේකයක් ගැනීමට මනාව ගැලපෙන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර සංචාරකයින්ගේ තෝතැන්නක් බවට පත්ව ඇත.
Google සිතියම මෙතැනින් බලන්න

වද්දෙණිය සංගිලි පාලම

මා ඔය හරහා දිවෙන එල්ලෙන පාලමක් වන වද්දෙණිය සංගිලි පාලම සබරගමුව සහ වයඹ පළාත සම්බන්ධ කරන තවත් සාධකයකි. අලංකාර සැලසුම සහ පිහිටීම මෙම පාලම සඳහා සංචාරක ආකර්ෂණීයත්වයක් ලබා දෙයි. පාලමට නැගුනු කල දැකගත හැකි මනස්කාන්ත දසුන් හේතුවෙන් මෙම එල්ලෙන පාලම, සංචාරකයින් සඳහා ආශ්වාදයක් ගෙන දෙන ස්ථානයකි. එමෙන්ම පළාත් දෙකක් යා කරන පාලමක් බැවින් පළාත් පාලන ආයතන දෙකක අධිකාරීත්වයක් පවතියි.
Google සිතියම මෙතැනින් බලන්න

තුන්දොල වැව

සශ්‍රීක භූ දර්ශන වලින් වට වූ දර්ශනීය ජලාශයක් වන තුන්දොල වැව හා තටාකය විවේකය සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා මනරම් වටපිටාවක් සපයයි. එහි ස්වභාවික සෞන්දර්යය හේතුවෙන් ස්වභාව ධර්මයේ සැනසීම සොයන සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථානයකි.
Google සිතියම මෙතැනින් බලන්න

මාරගල්කන්ද

මාරගල්කන්ද නිල වාර්තාවල වාර්තා කර ඇති පරිදි 1.26 km2 ක වපසරියක් ආවරණය වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 200 ක පමණ උන්නතාංශයකට නැඟී ඇති දර්ශනීය දසුන් සහිත පාරිසරික නිධානයකි. එහි පාෂාණමය භූමි ප්‍රදේශය වෘක්ෂලතා සමඟ අන්තර් සම්බන්ධිත පරිසර පද්ධතියක් නිර්මාණය කරයි. මාරගල්කන්ද ප්‍රදේශයේ කඳු පද්ධතිය සංචාරක ව්‍යාපාරය සහ ස්වභාවධර්මය පදනම් කරගත් ක්‍රියාකාරකම් සඳහා කදිම ගමනාන්තයක් බවට පත් කරන අතර  අවට ඇති හරිත භූමි ප්‍රදේශය ඡායාරූපකරණය සහ විවේකය සඳහා මනරම් පරිසරයක් සපයයි.
පාරිසරික විවිධත්වය, භූ විද්‍යාත්මක වැදගත්කම සහ දර්ශනීය සුන්දරත්වය තිරසාර සංවර්ධනය සඳහා අවස්ථාවක් ඉදිරිපත් කරන අතර මාරගල්කන්ද ආරක්‍ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මඟින් කලාපයේ පරිසර සංරක්ෂණයට මෙන්ම ආර්ථික වර්ධනයට ද මංපෙත් විවර කළ හැකිය.
Google සිතියම මෙතැනින් බලන්න

හබ්බිලිකන්ද ලෙන් ආරාමය

ස්වභාවධර්මයට ආදරය කරන්නන් සහ භාවනා ලෝලීන් සඳහා තෝතැන්නක් වන හබ්බලිකන්ද වන අභයභූමිය සුන්දර වටපිටාවක් සහ සොබාදහම සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දෙයි. නාගරික ජීවිතයෙන් මිදීමට උත්සාහ කරන අයට එහි සන්සුන් පරිසරය පරිපූර්ණ වේ.
භාවනායෝගී ස්වාමීන් වහන්සේලා වැඩවාසය කරන බැවින් සාමකාමී වටපිටාවට බාධා නොවන පරිදි පරිසර හිතකාමීව සිරි නැරඹීම සිදුකල යුතු වේ.
Google සිතියම මෙතැනින් බලන්න